Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 27, 2018

තුන්කොන් තරගාවලියේ කුසලාන ශ්‍රී ලංකාවට


පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයේ ඩකාහිදි අද (27 වැනිදා) අවසන්වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදි බංග්ලාදේශයට එරෙහිව ලකුණු 79 ක ජයක් හිමිකර ගනිමින් කුසලාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශෙහාන් මදුශංක සිය මංගල තරගයේදිම කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමට සමත්වූ අතර මෂ්රෆී මොර්තාසා, රුබෙල් හුසේන් සහ මහමුදුල්ලා ඔහුගේ කඩුලු ත්‍රිත්වයට අයත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 9 වැනි අවස්ථාව වන අතර එම දස්කම කළ හයවැනි පන්දු යවන්නාද විය. මින් පෙර ලසිත් මාලිංග අවස්ථා තුනකදීද චමින්ද වාස් අවස්ථා දෙකකදීද ෆර්වීස් මහරුෆ්, තිසර පෙරේරා සහ වනිඳු හසරංග එක් අවස්ථාව බැගින් කඩුලු ත්‍රිත්වයන්ට හිමිකම් කියුහ.

අවසන් මහ තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 41.1 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි. පන්දු 253 කට මුහුණදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු 156 කදී ලකුණු ලබාගැනීමට අපොහොසත්වී ඇති අතර තනි ලකුණු 65 ක් සමගින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ලබාගෙන ඇත.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී සිටින තමීම් ඉක්බාල් ලකුණු අතරට පැමිණීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත්වූ අතර ඉන් නොනැවතුනු ඔහු තෙවැනි කඩුල්ල ලෙස සබීර් රෙහෙමන් දවාගනිමින් බංග්ලාදේශයට පීඩනයක් ඇති කිරීමට සමත්විය.

මහත් හිසරදයක් වෙමින් පැවැති සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ හෙළමින් මුෂ්ෆිකූර් රහීම් ලකුණු 22 කට දවාගත් අකිල ධනංජය එල්ල වෙමින් තිබුණු පීඩනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට සමත්විය.

ලකුණු 22 කට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් දැඩි පිඩනයකට ලක්ව සිටි බංග්ලාදේශය කණ්ඩායම ඉන් තරමක් දුරට මුදා ගැනීමට සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මහමුදුල්ලා සහ මුෂ්ෆිකූර් රහීම් සමත්වූහ.

තමීම් ඉක්බාල් දැවීයාමට පෙර පන්දුවේදී පන්දු යැවූ දුෂ්මන්ත චමීර වෙත නැවත ලබාදුන් උඩපන්දුව ගිලිහි යාම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටිමට වාසනාවන්ත වුවද එය එක් පන්දුවකට සිමා විය.

තනි සටනක නිරතවූ මහමුදුල්ලා අවසන් කඩුල්ල ලෙස දැවීයන තෙක්ම ජයග්‍රහණය කරා තම කණ්ඩායම රැගෙන යාමට උත්සහ කළද ශෙහාන් මදුශංකගේ කඩුලු ත්‍රිත්වයේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. සිය 18 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 70 කදි ලබාගත් මහමුදුල්ලා දැවීයන විට පන්දු 92 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 76 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාවට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 221 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් වයිඞ් සහ නිපන්දු සමගින් පන්දු 304 කට පහරදුන්නද පන්දු 164 කදි ලකුණු ලබාගැනිමට අපොහොසත්වී ඇති අතර තනි ලකුණු 106 ක් ලබාගෙන ඇත. ඒ අනුව පන්දු 270 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර ඇත්තේ ලකුණු 106 ක් පමණි. දෙකේ ලකුණු 11 ක් හතරේ පහරවල් 14 ක් සහ හයේ පහරවල් පහක් ශ්‍රී ලංකා ඉනිමට ඇතුලත් විය.

පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 8 ක් වනවිට දැවී යාමත් සමගින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා උපුල් තරංග සමගින් එක්ව පන්දු 19 කදී ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. හතරේ පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් විසින් මෙහෙදි හසන් යවනලද තරගයේ පස්වැනි ඕවරයේදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 24 ක් ලබාගැනිමට සමත්විය. දිගින් දිගටම පහරවල් කරා යෑම හේතුවෙන් පන්දු 9 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 28 ක් ලබාගත් කුසල්ට කඩුල්ල පූජාකර පිටියෙන් ඉවත්වන්නට සිදුවිය.

ඕවර 10 ට මෙපිටින් කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල අතර ලකුණු ලබාගැනීමේ වේගය මදක් අඩාල විය. 12 වැනි ඕවරයේදී හතරේ සිමාව කරා පන්දුවක් ඇඳී යාමෙන් අනතුරුව නැවත පන්දුවක් හතරේ සීමාව කරා යැවීමට හැකිවූයේ ඕවර 9 කට පසුව වීම හේතුවෙන් 6.08 ක්ව පැවැති ලකුණු ලබාගැනීමේ වේගය 4.71 ක් දක්වා පහත වැටුණි.

නොසිතු අකාරයෙන් ඉහළ නැගි පන්දුව පිත්තේ ඉහළ දාරයේ වැදී සබීර් රෙහෙමාන්ට උඩපන්දුවක් යෑම නිසා නිරෝෂන් දික්වැල්ලට සිය ඉනිම ලකුණු 42 කදි අවසන් කිරීමට සිදුවිය.

උපුල් තරංග සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 107 කදි ලකුණු 71 සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. එම සම්බන්ධතාවයේදී ලකුණු 42 ක් දික්වැල්ලගේ පිත්තෙන් එකතුවූ අතර උපුල් තරංගගේ පිත්තෙන් ලැබුණේ ලකුණු 28 ක් පමණි.

ලකුණු 19 ක් ලබාසිටියදි කඩුල්ල මුවා කිරීමේ වරදට නිරෝෂන් දික්වැල් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු විසින් තීරණය කළ අතර ඉන් සැහීමකට පත්නොවූ ඔහු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ දාරයේ වැදියන ආකාරයක් දිස්වීම හේතුවෙන් දික්වැල්ලට නැවත වතාවක් පන්දුවට පහරදිමට අවස්ථාව හිමිවිය.

අවස්ථා දෙකකදී නිරෝෂන් දික්වැල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා පන්දු රකින්නන් කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට බංග්ලාදේශ නායකයා තීරණය කළේය. එක් අවස්ථාවක පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ලේ වදින ආකාරයක් දිස්වුවද දැවීයාමකට නම් පන්දුවෙන් හරි අඩක් කඩුල්ලේ වැදිය යුතු බැවින් දික්වැල්ල දැවී නොයන බව තෙවැනි විනිසුරු විසින් තීරණය කළ අතර අනෙක් අවස්ථාවේදී පන්දු කඩුල්ලෙන් පිටතට යෑම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව ඔහුට හිමිවිය.

ආරම්භක පිතිකරු උපුල් තරංග සිය 37 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 87 කදි ලබාගත් අතර මුස්ටෆිසූර් රෙහෙමන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවීයන විට පන්දු 99 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 56 ක් රැස්කර තිබුණි. දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 69 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට තරංගයට හැකිවිය.

තරංගගේ කඩුල්ල දවාගත් මුස්ටෆිසූර් රෙහෙමන් බංග්ලාදේශය වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදි කඩුලු 50 දවාගත් ගත් පන්දු යවන්නා බවට වාර්තා පොත් අතරට එක්විය. තරග 27 කදී මෙම දස්කම කළ මුස්ටෆිසූර් රෙහෙමන් ඕවර 10 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

තරංග දැවීයාමට පෙර පන්දුවේදී කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට විනිසුරු විසින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය. එම තීරණය සමගින් එකඟ නොවූ තරංග විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ නොවදින බවට තීරණය කිරීම හේතුවෙන් තරංගට පන්දුවට පහරදීම සදහා තව අවස්ථාවක් හිමිවිය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ තිසර පෙරේරාට අද සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන් රුබෙල් හුසෙන් ලකුණු 2 කට ඔහුව දවාගත්තේය.

කඩුලු එකින් එකි බිඳ වැටුණද නායකත්වයේ වගකීම කරට ගත් දිනේෂ් චන්දිමාල් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ ගත්තේය. රුබෙල් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් දැවී යනවිට පන්දු 74 කදි හයේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.

No comments:

Post a Comment