Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 18, 2018

මංගලගේ චක්‍ර‍ලේඛය රජයට අපකීර්තියක්- සංස්කෘතියටත් ගැලපෙන්නේ නෑ

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් මත්පැන් විකිණීමට අදාළව තිබූ ඇතැම් නීති ලිහිල් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ චක්‍ර‍ලේඛය අවලංගු කරනු ලැබුවේ එය ශ්‍රී ලංකාවේ කාන්තා සමාජට සහ සංස්කෘතියට නොගැළපෙන නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (17) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පැවැසීය.

මුදල් අමාත්‍යවරයාගේ මෙම චක්‍ර‍ලේඛය නිසා රජයට විශාල අපකීර්තියක් සිදුවූ බවද හෙතෙම කීවේය. කැබිනට් මණ්ඩලය දැනුවත් නොකර මෙම තීරණය ගෙන තිබූ බවත් ගම්වල සිටින බොහෝ කාන්තාවන්ද මෙම තීරණය නිසා අපහසුතාවට පත්වූ බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් මෙම නීතිය නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව විරෝධය දක්වමින් මාධ්‍යවේදිනියක මෙහිදී ප්‍රශ්න කළේය. ඇය කියා සිටියේ කාන්තාවට පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටින බවයි. එවැනි තත්ත්වයක් මත කාන්තාවන් ඉලක්ක කර මෙවැනි නීති පැනවීම අසාධාරණ බව ඇය කියා සිටියාය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ අපේ රටේ කාන්තාවන් යුරෝපයේ කාන්තාවන්ට සමාන කළ නොහැකි බවයි. තවද ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙවැනි අවශ්‍යතා විදේශීය කාන්තාවන් තරමට නොමැති නිසා මෙවැනි නීති තිබිය යුතු බව කීවේය.

කාන්තාවකට තමා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතියක් තිබිය යුතු බවත් එය රජයට නීති පනවා හැසිරවිය නොහැකි බවත් අදාළ මාධ්‍යවේදිනිය නැවත ප්‍රශ්න කර සිටියාය.

මතින් නිදහස් රටක් තැනීම සඳහා බලයට පැමිණි වත්මන් රජය යටතේ මෙවැනි කාරණා කිසිසේත් සිදුනොවිය යුතුයි.

සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නැහැ. මෙවැනි නීතියක් අපේ රටේ තිබුණු බව කාන්තාවන් දැනගනු ලැබුවේත් මෙම චක්‍ර‍ලේඛය නිසයි. ඒ වෙනතුරු කාන්තාවන්ද මෙවැනි නීති ගැන නොදැන සිටි බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

No comments:

Post a Comment