Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, January 17, 2018

සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්



බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.

කුසල් පෙරේරා සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වූ උපුල් තරංග ලකුණු 11 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස ලකුණු නොලබාම දැවි යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 47 ක් ලෙස දිස්විය.

ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත ලබාදුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය. සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ලකුණු 57 දී සොලමන් මීරේට ලබාදුන් උඩපන්දුව සහ ලකුණු 77 දී පන්දු යැවූ ග්‍රේඒම් ක්‍රීමර් අතට නැවත ලබාදුන් උඩපන්දුව ගිලිහියාම හේතුවෙන් කුසල් පෙරේරාට දෙවතාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදාවිය.
මුළු ලකුණු සංඛ්‍යාව 181 ක් වනවිට ඇන්ජලෝ මැතිව්ස් (42) සිවුවැනි වැනි කඩුල්ල ලෙසත් දිනේෂ් චන්දිමාල් (34) පස්වැනි කඩුල්ල ලෙසත් දැවියාම නිසා ශ්‍රී ලංකාව දැඩි අසීරූතාවයට පත්විය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙර කයිල් ජාවිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලිම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කළ අතර ඊට එකඟ නොවූ සිම්බාබ්වේ නායකයා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ල ඉහළින් ඇදී යන අයුරු දිස්විම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් මැතිව්ස් දැවී නොගිය පිතිකරුවකු ලෙස නම් කළේය. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදයේ අවස්ථාව අහිමිව ගියේය.

දිනේෂ් චන්දිමාල් දැවීයාමෙන් පසුව හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලෙන් ගිලිහෙමින් තිබුණු තරගයේ ජයග්‍රහණය පිළිබඳව යළිත් බලාපොරොත්තු ඇති කිරීමට සමත්විය.

අවසන් මොහොත වනතෙක් තනි සටනක නිරතවූ තිසර පෙරේරා දැවීයන විට පන්දු 37 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය.

පිතිකරුවන් තවත් ඉවසිලි වන්තව පන්දුවට පහරදුන්නේනම් තවත් පන්දු 11 ක් ඉතිරිව තිබියදීම ලකුණු 12 කින් තරගය පරාජයට පත්වන්නට නොතිබුණි.

සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත්විය. සිම්බාබ්වේ පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් ඕවර 10 තුළදී ලකුණු 76 ක් ලබාදී ඇති අතර දවාගැනීමට හැකිවූයේ කඩුලු 2 ක් පමණි.

ලකුණු 34 ක් ලබාසිටියදි තිසර පෙරේරාගේ පන්දුවකට සොලමන් මීරේ ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව කුසල් මෙන්ඩිස් විසින් රැකගැනීමත් සමගින් හැමිල්ටන් මසකඞ්සා සමගින් පන්දු 78 කදී පැවැත්වූ ලකුණු 75 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණි.

තවත් ලකුණු 10 ක් සිම්බාබ්වේ කණ්ඩායමට එක්වන විටදි දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 2 ක් ලබාසිටි ක්‍රෙග් අර්වින් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය. 2017 වසරේදී තරග පරාජයන්ට ප්‍රධාන හේතුව වූ දුර්වල පන්දු රැකීම මෙම වසරේදී ද ඉදිරියට ගෙන යමින් ක්‍රෙග් අර්වින් ලකුණු ලබාගැනීමට පෙර ලබාදුන් උඩපන්දුව දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගියේය.

ලකුණු 10 ක් ලබා සිටියදි අකිල ධනංජය යැවූ පන්දුවකට කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස නම් කළද ඉන් සැහිමකටෙ පත්නොවූ බ්‍රෙන්ඩන් ටේලර් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ යම්තමින් ගෑවී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ගිය පිතිකරුවකු ලෙස නම් කළේය.

සිය 32 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 58 කදී ලබාගත් හැමිල්ටන් මසකඞ්සා ලකුණු 73 කදී පිටියෙන් ඉවත් කිරීමට අසේල ගුණරත්න සමත්විය. අතිරේක ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලබාදුන් උඩපන්දුව රැකගැනිම නිසා දැවීගිය හැමිල්ටන් මසකඞ්සා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සීකන්දර් රාසා සිම්බාබ්වේ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක වෙමින් පන්දු 67 කදී ලකුණු 81 ක් නොදැවී රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර අටකින් අලංකාර විය.

මැල්කම් වොලර් සමගින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සීකන්දර් රාසා හයවැනි කඩුල්ල සදහා පිටර් පුවර් සමගින්ද පන්දු 39 කදි ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

No comments:

Post a Comment