Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, December 20, 2017

‘‘දරුවෝ කොත්තු කන්න කැමති නිසා මම කොත්තු අරගෙන එන්නම්‘‘ යැයි පවසා නිවසින් පිටත් වූ ඔහු ජීවිත දෙකක් ජීවත් කර අවසන් ගමන් යයි.

පසුගියදා රාගම ප්‍රදේශයෙන් ඇසුනු ඉතා සංවේදී කතා පුවතක් අද මුද්‍රිත මාධ්‍ය වාර්ථා කර තිබුනා. තම දරුවන්ටද ආහාර පිණිස කොත්තු රැගෙන එන බව පවසමින් ලක්‌සිරි නම් වූ නිවසින් පිටත්වන්නේ තම පියා මුණ ගැසීමේ අරමුණින්. නමුත් රාගම නගරයේදී ඔහුගේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටී ඔහුට තම ජීවිතයෙන් සමුගන්නට සිදු වෙනවා.

නමුත් ඔහුගේ මරණය ජීවිත දෙකක් ජීවත් කරමින් සිදු වුන මරණයක් බවට පත්වන්නේ තම පවුලේ උදවියගේ කැමැත්ත මත ඔහුගේ වකුගඩු දන්දීමත් සමගින්. මේ පිළිබඳව අද මුද්‍රිත මාධ්‍ය වාර්ථා කල සංවේදී කතා පුවත පහතින්.

ලක්‌සිරි පස්‌වරු හතරට පමණ රැකියාව නිමකොට තම නිවසට පැමිණියේ පස්‌වරු පහයි තිහට පමණ දුම්රියෙන් "රාගම දුම්රිය" ස්‌ථානයට පැමිණෙන තම පියා හමුවීමට යාමේ අදිටනින් යුතුවය. ඒ.. පියාගෙන් තමාට මුදල් ලැබෙන බව දන්නා හෙයිනි. ඇඟපත සෝදාගෙන පැමිණි "ලක්‌සිරි" රූපවාහිනී වැඩසටහනක්‌ද නැරඹුවේ රාගමට යාමට කාලය ඉතිරිව තිබූ නිසා විය හැක. වේලාව 5.30 ළඟාවන විට සිය දයාබර බිරිඳවූ "ටානියා" අමතමින් "ටානියා" අද රෑට කෑම හදන්න එපා. මම තාත්තාව හමුවෙන්න රාගමට යනවා. ගිහින් එනකොට දරුවෝ කොත්තු කන්න කැමති නිසා.. මම කොත්තු අරන් එන්නන් යෑයි පවසමින් රාගම නගරයට යාමට පස්‌වරු 5.15 ට පමණ නිවසින් පිටත්වී තිබුණි.

රෑට කෑමට දරුවන්ට කොත්තු ගෙන ඒමට නිවසින් පිටව ගිය "ලක්‌සිරි" යළි නිවසට පැමිණියේ සිය ප්‍රාණ වායුව රාගම නගරයේදී ත්‍රිරෝද අනතුරකින් වාතලයට එක්‌කර නිසළ දේහයක්‌ ලෙසය. ඒත්.. ලක්‌සිරි එලෙස තම ප්‍රාණ වායුව වාතලයට එක්‌කළද මරුවා සමඟ පොරබදන තවත් ජීවිත දෙකකට ජීවය දෙන්නට හැකිවිය.

රිය අනතුරකින් බරපතල ලෙස තුවාල ලබා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත්කර සිටි මෙම රෝගියා ඒවන විට "මොළය මියගිය" තැනැත්තෙකු ලෙස රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ගිලන් ඇඳක පසුවූයේ කොයි මොහොතක හෝ තම ප්‍රාණ වායුව වාතලයට එක්‌කරන්නේද යනුවෙනි. "මොළය මියගිය" රෝගියකුවූ "ලක්‌සිරි" ගේ ප්‍රාණවත් වකුගඩු දෙක තවත් ජීවිත දෙකක්‌ බේරාගැනීමේ ඇති හැකියාව පිළිබඳ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය මණ්‌ඩලයෙන් ලක්‌සිරිගේ බිරිඳට හා සොහොයුරියවූ... ක්‍රිෂාන්ත දිනුෂාට දැන ගැනීමට ලැබුණි. ඔවුන් එක හෙළාම මෙම යෝජනාවට එකඟ වූයේ.. තම දයාබර ස්‌වාමි පුරුෂයා හා සොහොයුරා මියගියද තවත් ජීවිත දෙකකට ජීවත්වීමේ අවස්‌ථාව ලබාදීමෙන් "ලක්‌සිරි" ට ලැබෙන පින ගැන පමණක්‌ නොව ජීවත්වන එම දෙදෙනාද "ලක්‌සිරි" ලෙස තමන්ට ජීවමානව දැකගැනීමට ලැබෙන නිසාවෙනි. මේ අනුව ලක්‌සිරිගේ ප්‍රාණවත් නිරෝගී වකුගඩු දෙකම ඔවුන් ප්‍රදානය කර තිබිණි.

ලක්‌සිරි යනු 33 හැවිරිදි දෙදරු පියෙකි. රාගම පොල්ගහහේන අංක 270/2 ජී දරණ නිවසේ විසූ "රණමුණිගේ ජීවන් ලක්‌සිරි මෙන්ඩිස්‌ නම්වූ මොහු රැකියාවට අමතරව සූපවේදියකි. විවාහ මංගල උත්සවලදී රසවත්ව කෑම පිසීමට මොහු ප්‍රදේශයේ නමක්‌ දිනා සිටි සුහදශීලී හිතවතෙකි. මොහු ලවා රසවත්ව කට ගැස්‌මක්‌ (බයිට්‌ එකක්‌) පිළියෙළ කරගැනීමට කොයි කවුරුත් කැමැතිය. ඒ... ඔහුගේ ආහාරවල ඇති ප්‍රනීතභාවය නිසාවෙනි. තම සොහොයුරාගේ මෙම හැකියාව පිළිබඳව මියගිය ජීවන් ලක්‌සිරිගේ සොහොයුරියවූ ක්‍රිෂාන්ති දිනුෂා මෙසේ පැවසුවාය.

මල්ලිගේ බිරිඳ "ටානියා ලක්‌මාලි" වයස අවුරුදු 14 ක සහ 13 ක පිරිමි දරුවෝ දෙන්නෙක්‌ මල්ලිට ඉන්නවා. ඔවුන් රාගම බැසිලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දැන් ඒ දරු පවුලට කාගේ පිහිටක්‌ද...?

අනෙක... අනතුරෙන් මල්ලි අපිට නැතිව ගිය දුක අපට ඉවසන්න බැරිව ගියත්, මල්ලිගේ වකුගඩු දෙක දන්දීමට අපිට හැකිවීම මල්ලිට පිනක්‌.

අපි කැමතියි මල්ලිගේ නිරෝගී වකුගඩු දෙකෙන් ජීවත්වීමේ වාසනාව ලැබූ දෙදෙනා ගැන හරි තොරතුරක්‌ දැනගැනීමට. ඒ නිසා මෙම වකුගඩු බද්ධ කළ වෛද්‍ය කණ්‌ඩායමෙන් තොරතුරක්‌ දැනගැනීමට අපි බලාගෙන සිටිනවා යෑයි දිනුෂා මහත්මිය පැවැසුවාය.

මෙම හදිසි මරණය පිළිබඳව පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විභාගය ඉකුත් 4 වැනිදා රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී එහි හදිසි මරණ පරීක්‍ෂිකා සාම විනිසුරු විශ්‍රාමික විදුහල්පතිනි, ඡේ. කේ. අනුලා ජයකොඩි මහත්මිය හමුවෙහි පැවැති අතර රාගම පොලිසියේ පො.කො.(84480) දර්ශන සහ පුෂ්පකුමාර යන මහත්වරු සාක්‍ෂි ඉදිරිපත් කළහ. සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලසන්ත එස්‌. කේ. ද සිල්වා මහතා විසින් පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරන ලදී.

රාගම - රිචඩ් ජී. සිල්වා

No comments:

Post a Comment