Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, December 12, 2017

සා.පෙළ විභාගය අද

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නව සහ පැරණී නිර්දේශ යටතේ අද දිනයේ සිට ලබන 21 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සදහා අපේක්ෂකයින් හය ලක්ෂ 88573 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතර පාසල් අයදුම්කරුවන් හාර ලක්ෂ 29,493 දෙනෙකු සහ බාහිර අයදුම්කරුවන් දෙලක්ෂ 59,080 දෙනෙකුත් වන බව සඳහන්ය.

විභාග මධ්‍යස්ථාන 5116කදි සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට නියමිත අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 8.00 පෙර සියලු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබදව දැනුම්දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමට හා පැමිණිලි කිරීම සදහා 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784 208 , 0112 784 537, 0113 188 350 යන දුරකථන අංකවලට ඇමතිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සදහා විශේෂ බස් රථ සේවයක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment