Breaking News

වසර 12ක් තිස්සේ සිය මහලු මව පන මෙන් රැක ගත් බුද්ධ පුත්‍රයාණෝ

" අම්මා කාමරයේ නිදා ගද්දි මම මෙට්ටයක් දාගෙන බිම සැතපුනේ බැරිවෙලාවත් අම්මා බිමට වැටේවි කියලා"

නොවිදිනා දුක් විද සිය දරුවන් පෝෂණ‍ය කරමින් , ඔවුන් රැක බලා ගත් ආදරණීය මවුවරු , පියවරු මහමඟ දමා යන දරුවන් පිළිබදව අද සමාජයේ නිරතුරුවම ඇසීමට දැකීමට ලැබේ.
එලෙස සාරධර්ම දුරස්වී පිරිහෙමින් යන සමාජයක සිය මෑණියන්ව පන්සලේ නවත්වාගෙන වසර 12ක් සියලු ඇප උපස්ථාන කළ වර්තමාන සමාජයට මහත් ආදර්ශයක් දුන් බුද්ධ පුත්‍රයෙක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ රත්නපුරයෙනි.

රත්නපුර බටුහේන ශ්‍රී මහා බෝධිරාජාරාමාධිපති පූජ්‍ය එරත්නේ චන්දකිත්ති නායක හිමියන් තමන්ගේ මෑණියන් තනි නොකොට පන්සලේ කොටසක කාමරයක් සාදවා එහි නවත්වාගෙන වසර 12ක් තිස්සේ ඇප උපස්ථාන ලබමින් සිටියදී පසුගියදා හදිසියේ මියගියාය. මිය යන විට 83 වැනි වියේ පසුවූ එම මෑණියන්ගේ අවසන් කටයුතු පෙරේදා (03දා) සවස පුස්සැල්ල ආදාහනාගාරයේදී සිදුවිය.

තම මෑණියන් ගැන මාධ්‍යයට අදහස් දැක්වූ පූජ්‍ය එරත්නේ චන්දකිත්ති නායක හිමියන් මෙසේ පැවැසීය.

" මට තව සහෝදරයෙක් ඇතත් ඔහුට පොඩි දරුවන් දෙදෙනකු සිටින නිසාත් ඔහු නිතර නිතර අසනීප තත්ත්වයෙන් සිටින නිසාත් මා තීරණය කළා මා හදා වඩා ගත් මගේ ආදරණීය මෑණියන්ව මියයනතුරුම රැක බලා ගත යුතු බව. ඒ අනුව මීට වසර 12කට පෙර මා පන්සලේ කොටසක සියලු පහසුකම් සහිතව කාමරයක් තනා අම්මාව එහි නවත්වාගෙන සියලු ඇප උපස්ථාන සිදුකළේ මගේ සියලු කටයුතු දෙවන කොටයි.

මට කෙතරම් රාත්‍රි පිරිත් දේශනාවලට හා වන්දනා සඳහා ආරාධනා ලැබුණත් මා මෑණියන්ව තනිකර මේ වසර 12ටම එකම දවසක්වත් රාත්‍රිය පිටත ගත කළේ නෑ. එහෙම කළේ අම්මාට මා නොමැති දිනයේම යම් අසනීපයක්වත් හැදුණොත් කියා හිතේ තිබුණ දුකටයි. පන්සලේ පොඩි හාමුදුරු දෙනමට අම්මා වූයේද මගේ මෑණියන්. අම්මා එම පොඩි හාමුදුරුවන්ව හදා වඩා ගත්තේ තමන්ගේම දරුවන් ලෙසයි. දැන් එම පොඩි හාමුදුරු නමක් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් මෑණියන්ව බලන්න නිතරම ආවා ගියා. මම අම්මව පුළුවන් හැම වන්දනාවකටම සහභාගි කෙරෙව්වා. දඹදිවත් යෑමට සලස්වා දුන්නා. අම්මා සෑම වසරකම තනියෙන් සිරිපා වන්දනාවේ ගියා. ඒ හැම අවස්ථාවකම මා හිටියේ ඉතාමත් සෝදිසියෙන්. ගිය වසරේ මළුවේ කඩයකින් අතරමංව සිටි වයෝවෘද්ධ කාන්තාවක්ව අතින්ම අල්ලාගෙන විත් එරත්නේදී පොලිසිය මාර්ගයෙන් එම නඩයට නැවත භාර දීමට අම්මා කටයුතු කර තිබුණා. අම්මා පන්සලට එන සෑම පින්වතකුටම වගේ තිබෙන විදිහට තේ සහ ආහාර දාන ලබාදීම සිරිතක් කරගෙන තිබුණා. මම දානවලට සහභාගි වී ආපසු එන විට ගෙනෙන කැවිලි, පලතුරු සියල්ල අම්මාවත් නොකා පන්සලට එන අයට නිතරම ලබා දුන්නා. ඒ නිසා පන්සල එන හැමෝම අම්මාට ගොඩක් ආදරය, කරුණාව දැක්වීම මට ලොකු සතුටක් වුණා. අම්මා කාමරයේ ඇඳමත නිදාගන්නා විට මා ඒ අසල මෙට්ටයක් බිම දමා නිදා ගත්තේ බැරිවෙලාවත් අම්මා නින්දෙන් බිමට වැටේවි යන අදහසිනුයි. මෙසේ වසර 12ක් මා ආදරයෙන් රැක බලා ගත් මෑණියන් රෝගී වී හදිසියේ මියයෑම දුකක් වුවත් මා හට එම දුක නොදැනෙන්නේ ජීවත්ව සිටියදී ඇයට ලබා දිය හැකි උපරිම ඇප උපස්ථාන, ආදරය, රැකවරණය මිය යන තුරුම මා හට ලබා දිය හැකි වූ නිසා"

No comments