Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

ශ්‍රී ල.නි.ප.ය අත්හැර ආණ්ඩු හැදීම බරපතළයි

පළාත් පාලන මැතිවරණයේදී රජයට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එකට එක්ව වැඩ කළ යුතු බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි මහතා ප්‍රකාශ කර සිටී.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්ව ආණ්ඩු හැදීමට ඇතැමුන් උත්සාහ කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ආණ්ඩු හදනවා නම් එහි ප්‍රතිඵලය බරපතළ විය හැකි බවද විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එක එකා කියන විදියට යන්නත්, එක එකා කියන විදියට එන්නත් අපි සූදානම් නැහැ යැයිද විජිතමුණි සොයිසා මහතා මෙහිදී පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ටී.එන්.ඒ. එකත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදනවා කියනවා. ඒත් ශ්‍රීලනිපය අතහැර ආණ්ඩු හදනවා කියන්නේ බරපතළ දෙයක්. මොකද මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අපි ඊළඟ ඡන්දයට එන්නේ 'අත' ලකුණින්. අපි දැනටමත් ඒකාබද්ධය සමග සාකච්ඡා කරනවා. පක්ෂය කැඩෙන්න දෙන්න බැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සෑමවිටම පක්ෂය සමග සිටිනවා. එසේම අපේ පක්ෂය කාටවත් විනාශ කරන්න බැහැ. ඉදිරි මැතිවරණයේදී ජයගැනීම ඉතා වැදගත්. පක්ෂයේ කොටසක් රජය සමග ඉන්නවා. තව කොටසක් විපක්ෂයේ ඉන්නවා. ගමේ බලය ලබාගන්න, දෙපාර්ශවය එකට වැඩ කළ යුතු බව මගේ මතයයි. ඒකට අකමැති වන්නේ මොකටද?

ආණ්ඩුවක් තමන්ගේ වැරදි සොයන්නේ ප්‍රථම වරටයි. මේ රජය විනිවිද භාවයෙන් කටයුතු කරනවා. පැහැදිලි දේශපාලන දැක්මක් සහිතව, නිශ්චිත කරුණු කිහිපයක් ඉටුකරලීම පිණිස අපි මේ සම්මුතිවාදී රජයට එකතු වුණා. එම කටයුතු ඉවර වුණාම අපි ආණ්ඩුවෙන් යනවා.

No comments:

Post a Comment