Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, June 29, 2017

විවාහය සිදුවන දිනය දැනගන්න පහසු ක්‍රමයක්

සුදුසු වයස ඉක්මවා ගියද විවාහයක් සිදුකර ගැනීමට අවස්ථාවක් නොලැබිම වර්තමානයේ විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. විවාහ වීමට අවස්ථාව නොලැබුණ කාන්තාවන් වඩාත් අසහනයට පත්ව ඇති බව පෙනේ. එයට හේතුව සමහර විට පුරුෂයන්ට ස්වයං සුරක්ෂිතතාවක් තිබුණද කාන්තාවන් බොහෝ විට වෙනත් අයකුගෙන් තම සුරක්ෂිතතාව බලා‍පොරොත්තු වීම විය හැකිය. ඉහත කී අසහනකාරී බව ඇත්තේ විවාහ වීමට කැමැත්තක් දක්වන ඒ සඳහා අවස්ථාවක් නොලැබුණ අයට පමණක් විය හැකිය. මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදි ප්‍රතිපත්තියක් ලෙස විවාහ නොවීමට තීරණය කළ අයද කලාතුරකින් හෝ සිටිය හැකිය. ඔවුන්ට විවාහය සඳහා අවස්ථාවක් නෙලැබිම නිසා අසහනකාරී බවක් ඇති වන්නට ඉඩක් නැත.

අද දිනයේදී අප උත්සාහ කරන්නේ විවාහය සඳහා උනන්දුවක් දක්වන අය තම විවාහය සිදුකර ගැනීම පහසු වීම පිණිස ඔවුන්ට ප්‍රබල මංගල යෝග ඇති වන අවස්ථා හෙළිදරව් කිරීමටය. සමහර අවස්ථාවලදී ප්‍රබල මංගල යෝගයක් සහිත කාලවකවානුවක වුවද ප්‍රබල නිදන්ගත විවාහ දෝෂ ඇති අයට සහ තවත් ඇතැම් දෙනාට විවාහය සිදු නොවන බවද පෙනේ. කෙසේ වෙතත් ප්‍රබල මංගල යෝගයක් ඇති අවස්ථාවලදී පවා ඇතැමෙකුට නිරායාසයෙන් විවාහය සිදු නොවුණද එම කාල සීමාව තුළ ශාන්ති කර්ම සිදු කිරීමෙන් සහ වෙනත් උපක්‍රම භාවිත කිරීම තුළින් මතෛක් ඉටු නොවන ලද විවාහය පිළිබඳ බලා‍පොරොත්තු ඉටු කරගත හැකි වනු ඇත. විවාහය සිදුකර ගැනීම සඳහා භාවිත කළ හැකි එක් උපක්‍රමයක් ලෙස විවාහය සඳහා යෝජිත මනමාලයාගේ හෝ මනමාලියගේ නිවසට ඉදිරි තීරණ වෙනුවෙන් සුබ නැකතකට පිටත් වීම දැක්විය හැකිය. එයට හේතුව ඉතා හොඳින් ගැළපෙන විවාහ යෝජනා පවා ඇතැම් අවස්ථාවලදී යෝජිත මනමාලයාගේ හෝ මනමාලියගේ නිවසට ඉදිරි තීරණ වෙනුවෙන් ගිය පසු බිඳ වැටීමය.

යම් අයකුට ප්‍රබල මංගල යෝග ඇති වන එක් අවස්ථාවක් ලෙස ගුරු ග්‍රහයා උත්පත්ති කේන්ද්‍ර සටහනෙහි සිකුරු මතින් ගමන් කරන කාලවකවානුව දැක්විය හැකිය. උදාහරණ ලෙස යම් අයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ සිකුරු ග්‍රහයා කන්‍යා රාශිය තුළ තැන්පත්ව ඇත්නම් 2016 වසරෙහි අගෝස්තු 12 වැනිදාත් 2017 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ ඔහුට හෝ ඇයට ප්‍රබල මංගල යෝගයක් ඇතිවීම දැක්විය හැකිය. මීට අමතර ලෙස රවි ග්‍රහයා උත්පත්ති කේන්ද්‍ර සටහනෙහි සිකුරු මතින් ගමන් කිරීමද ප්‍රබල මංගල යෝගයකි. උදාහරණ ලෙස උත්පත්ති කේන්ද්‍ර සටහන්වල සිකුරු ග්‍රහයා කටක රාශිය තුළ තැන්පත්ව ඇති අයට 2016 වසරෙහි ජූලි 16 වැනිදා පෙ.ව. 10.15ත් අගෝස්තු 16 වැනිදා ප.ව. 6.40ත් අතර කාලසීමාව තුළ මංගල යෝගයක් ඇතිවීම දැක්විය හැකිය. මීට අමතර ලෙස සිකුරු ග්‍රහයා උත්පත්ති කේන්ද්‍ර සටහන්වල රාහු පිහිටි රාශිය මතින් ගමන් කිරීමද ප්‍රබල මංගල යෝගයකි. මේ සඳහා උදාහරණයක් ලෙස 1980 ජුනි 6 වැනිදාත් 1981 දෙසැම්බර් 22 වැනිදාත් අතර කාලය තුළ ඉපදී මතෛක් විවාහය ප්‍රමාද වී ඇති අයට 2016 වසරෙහි ජූලි 7 වැනිදා ප.ව. 3.36ත් 2016 වසරෙහි අගෝස්තු 1 වැනිදා පෙ.ව. 1.29ත් අතර කාල සීමාව තුළ මංගල යෝගයක් ඇතිවීම දැක්විය හැකිය. එයට හේතුව 1980 ජුනි 6 වැනිදාත් 1981 දෙසැම්බර් 22 වැනිදාත් අතර කාලය තුළ රාහු ග්‍රහයා කටක රාශිය තුළ ගෝචර වීම සහ 2016 වසරෙහි ජූලි 7 වැනිදාය. 2016 වසරෙහි අගෝස්තු 1 වැනිදාත් අතර කාලය තුළ සිකුරු ග්‍රහයා කටක රාශිය තුළ ගෝචර වීමත්ය. සිකුරු ග්‍රහයා උත්පත්ති කේන්ද්‍ර සටහන්වල කුජ මතින් ගමන් කිරීමද මංගල යෝගයකි. උදාහරණ ලෙස කුජ ග්‍රහයා, කටක රාශිය තුළ තැන්පත්ව ඇති අයට 2016 වසරෙහි ජූලි 2 වැනිදා ප.ව. 3.36ත් 2016 වසරෙහි අගෝස්තු 1 වැනිදා පෙ.ව. 1.29ත් අතර කාලය තුළ මංගල යෝගයක් උදාවීම දැක්විය හැකිය. යම් අයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන් තුළ සිකුරු සිටින රාශිය මතින් ශනි ග්‍රහයා ගමන් කිරීමද ඉතා ප්‍රබල මංගල යෝගයක් වේ. උදාහරණ ලෙස යම් අයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන සිකුරු ග්‍රහයා ධනු රාශිය තුළ තැන්පත්ව ඇත්නම් 2017 ජනවාරි 27 වැනිදාත් 2017 ජුනි 18 වැනිදාත් අතර කාලසීමාව තුළ සහ 2017 ඔක්තෝබර් 26 වැනිදාත් 2020 ජනවාරි 24 වැනිදාත් අතර කාලසීමාව තුළ ඔහුට හෝ ඇයට ප්‍රබල මංගල යෝගයක් උදා වනු ඇත.

යම් අයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනක ගුරු ග්‍රහයා 7 වන භාවය තුළ ගෝචර වන කාලවකවානුවද ප්‍රබල මංගල යෝගයක් සහිත කාලවකවානුවක් වන අතර ගුරු ග්‍රහයා පස්වන භාවය තුළ ගෝචර වන කාලය මොහුට විවාහය දක්වා දුරදිග යන ප්‍රේම සම්බන්ධතා ඇති වන කාල වකවානුවක් වේ. උදාහරණ ලෙස මීන ලග්න හිමියන්ට සහ වෘෂභ ලග්න හිමියන්ට 2016 වසරෙහි අගෝස්තු 12 වැනිදාත් 2017 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලවකවානුව මංගල යෝගයක් සහිත කාලවකවානුවක් වනු ඇත. එමෙන්ම විවාහය ප්‍රමාදව ඇති අයට ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාලවකවානුවක් ලැබූ විට හදිසියේ විවාහයක් සිදුවන බව අප විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව වෘෂභ ලග්න හිමියන්ට, ධනු ලග්න හිමියන්ට සහ චන්ද්‍රයා උත්පත්ති කේන්ද්‍ර සටහන්වල ධනු රාශිය තුළ තැන්පත්ව ඇති අයට 2017 වසරෙහි ජනවාරි 27 වැනිදාත් 2017 වසරෙහි ජුනි 18 වැනිදාත් අතර කාලය තුළ සහ 2017 වසරෙහි ඔක්තෝබර් 26 වැනිදාත් 2020 වසරෙහි ජනවාරි 24 වැනිදාත් අතර කාලය තුළ ප්‍රබල මංගල යෝගයක් නිර්මාණය වීම උදාහරණ ලෙස දැක්විය හැකිය.

මීට අමතර ලෙස අංක විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව මුදුන් අංකය හය වන කාලවකවානුවල යම් අයකුට මංගල යෝගයක් උදාවනු ඇත. මුදුන් අංකය යනු යම් අයකුගේ වයසට එකක් එකතු කළ විට ලැබෙන අගය ඉදිරියෙන් ඔහුගේ හෝ ඇයගේ ෙදෙව අංකය ලියා දෙපස ඉලක්කමේ තනි ඉලක්කමෙන් ලැබෙන තුරු වෙන වෙනම එකතු කිරීමෙන් ලැබෙන ඉලක්කමේ නැවත තනි ඉලක්කම ලැබෙන තුරු එකතු කිරීමෙන් පසු ලැබෙන අගයකි. උදාහරණ ලෙස 1978 වසරෙහි පෙබරවාරි 2 වැනිදා ඉපදුන අයකුට 2017 වසරෙහි පෙබරවාරි 2 වැනිදාත් 2018 වසරෙහි පෙබරවාරි 2 වැනිදාත් අතර කාලසීමාව තුළ මංගල යෝගයක් උදාවීම දැක්විය හැකිය.
පාරින්ද්‍ර සුගතදාස

No comments:

Post a Comment