Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, June 29, 2017

දැඩි ලෙස පීඩා ගෙන දෙන ගෙලෙහි ඇතිවන වේදනාව ගැන ඔබ දැනගත යුතු දේ

ගෙලෙහි ඇතිවන වේදනාව බොහෝ දෙනෙකු මුහුණ දෙන රෝගී තත්ත්වයක්. ඇතැම් විට මෙහිදී අධික වේදනාක් ගෙන දෙනවා. මෙම රෝගී තත්ත්වය පිළිබඳව විවිධ මතත් පල වෙන නිසා මෙවර ලිපියෙන් “ගෙලෙහි ඇතිවන වේදනාව“ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි අදහස් කළා.

ගෙලෙහි ඇතිවන වේදනාව, කැක්කුම, බාල, මහලු, තරුණ කාට වුවත් ඇතිවිය හැකියි. එසේ වුවත් වයස 20, 25 පමණ වන තෙක් ගෙලෙහි වේදනාව ඇතිවීමේ ප‍්‍රවණතාවය ඉතා අඩුයි. වයස අවුරුදු 35 ක් 40 ක් පමණ වන විට ගෙලෙහි ඇතිවන ගැටලු වැඩියි.

ගෙලෙහි වරින් වර ඇතිවන වේදනාවට හේතු මොනවාද?

ගෙලෙහි ඇතිවන වේදනාකාරී තත්ත්වය, කැක්කුම විවිධ හේතූන් නිසා හට ගත හැකියි. අප ගෙල කෙළින් තබාගෙන සිටින්නේ ගෙලෙහි ඇති මාංශපේෂින් නිසයි. මාංශ පේෂින් රාශියක්ම ගෙල වටා පිහිටනවා. එම මාංශ පේෂීන්ගේ කිසියම් ආබාධයක් සිදුවුවහොත් ගෙලෙහි කැක්කුමක් වේදනාවක් ඇතිවිය හැකියි.

මාංශපේෂින් හැරුණු විට රුධිර වාහිනි, ස්නායු, අස්ථි ආදියත් ගෙල වටා පිහිටනවා. ගෙලෙහි ඇතුළතින්ම පිහිටන්නේ සුසුම්නාවයි. ඉහත දැක්වූ ශරීර අවයව කොටස්වල කිසියම් ගැටලුවක් නිසා ගෙලෙහි වේදනාවක් ඇතිවිය හැකියි.

අපගේ කෂේරුකා පද්ධතියේ ඇති ක්ෂේරුකා අතර තිබෙනවා ජෙලි වැනි ද්‍රව්‍යයක්. වයස් ගත වන විට එම ජෙලි වියළීමට පටන් ගන්නවා. එවිට පහසුවෙන්ම ස්නායු අස්ථි සමග ගැටෙනවා. එවිට ස්නායු තෙරපීමකට ලක්විය හැකියි. එය ගෙලෙහි වේදනාවක් ඇතිවීමට හේතු විය හැකියි.

වේදනාවේ ස්වභාවය

ගෙලෙහි ඇතිවන වේදනාවක් ගෙලෙහි දකුණු පසින් වම් පසින් හෝ පිටුපසින් ඇතිවිය හැකියි. ඇතැම් විට එසේ ඇතිවන වේදනාවක් එම ස්ථානයට පමණක් සීමා වෙනවා. තවත් විටෙක එම වේදනාව එම ස්ථානයට පමණක් සීමා නොවී අත දිගේ ගමන් කළ හැකියි. මෙය සුවිශේෂී තත්ත්වයක්. අත දිගේ වේදනාව ගමන් කරන්නේ ස්නායු ගමන් මඟක් ඔස්සේ. අපගේ අතේ ඇඟිලිවල තිබෙන ස්නායු සුසුම්නාවෙන් ආරම්භ වී ඇඟිලි දක්වා ගමන් කරන්නේ අත දිගේ.

මෙලෙස ඇතිවන වේදනාව ඉතා තදබල එකක් විය හැකියි. මෙම වේදනාව ගෙලෙන් ආරම්භ වී අත දිගේ ගමන් කරනවා. ඇතැම් විට අත හිරි වැටෙනවා. මෙම වේදනාව සහ හිරිවැටීම ගමන් කරන්නේ තෙරපුණු ස්නායුවේ ගමන් මඟ ඔස්සේ.

අත හිරි වැටුණු විට එම අතින් යමක් ඇල්ලීමට පවා අපහසු වෙනවා. ඊට අමතරව එම ස්නායු තෙරපීම ඉතා ප‍්‍රබලව සිදු වුවහොත් සංවේදී ස්නායුවට මෙන්ම චාලක ස්නායුවට ද බලපෑම් ඇති කරනවා. චාලක ස්නායුවේ යම් වෙනසක් සිදු වුවහොත් එම චාලක ස්නායුවට සම්බන්ධ මාංශ පේෂීන් අකි‍්‍රය වීමට ද ඉඩ තිබෙනවා. එවිට රෝගියා තමාට අංශභාගය රෝගය වැළඳී ඇතැයි බිය වෙනවා. ඒ ගෙලෙහි වේදනාව ඇති වන රෝග තත්ත්වයේ ස්වභාවයයි.

ගෙලෙහි වේදනාව සඳහා කළ හැකි ප්‍රතිකාර

මේ සඳහා ඇති හොඳම ප‍්‍රතිකාරය වන්නේ විවේකයයි.

මෙහිදී වෛද්‍යවරයකු හමුවීමට ප‍්‍රථම උණු ජලය පෙඟවූ රෙදිකඩකින් ගෙල තැවීම ඉතාම සුදුසුයි. පසුව සුදුසු ඖෂධීය බාම් විශේෂයක් ආලේප කළ හැකියි. වේදනාව ඇති අයෙක් මුහුණ අතපය ගෙල පෙදෙස සේදීම සඳහා උණු ජලය භාවිත කිරීම ඉතාම සුදුසුයි. සීතල ජලයෙන් ගෙල සේදූ විට ගෙලෙහි ඇති මාංශ පේෂීන් හැකිලීමට පටන් ගන්නවා. එවිට තිබු වේදනාව තවත් වැඩි වෙනවා.

ගෙලෙහි කැක්කුමට නිතර ගොදුරු වන්නන් නිදා ගැනීම සඳහා උස කොට්ට භාවිත නොකළ යුතුයි. ගෙලෙහි වේදනාව පවතින විට කිලෝ 2 කට වඩා වැඩි බරක් එසවීමෙන් වැළකී සිටිය යුතුයි.

ගෙලෙහි වේදනාව ඇතිවූ මුල් අවස්ථාවේදී ඇස්පි‍්‍රන් පෙති දෙකක් හෝ පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම සුදුසුයි. ඒ හැර වේදනා නාශක ගුණයෙන් වැඩි වෙනත් ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීම නුසුදුසුයි. ගෙලෙහි ඇතිවන වේදනාව සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වූ විට ඖෂධීය ප‍්‍රතිකාර වලින් වේදනාව සුව කළ නොහැකි නම් ගෙලට කොළරයක් පැළඳීමට වෛද්‍යවරයා නියම කරනු ලබනවා.

කොළරයක් පැළඳීම

කොළරය පැළඳීමට වෛද්‍යවරයා උපදෙස් ලබා දෙන්නේ X කිරණ පරීක්ෂාව වැනි පරීක්ෂණ කීපයකින් පසුවයි. ගෙලට කොළයරක් පැළඳි විට ගෙල නියම ඉරියව්වක පිහිටුවා ගැනීමට හැකි වෙනවා. එවිට ගෙලෙහි මාංශ පේෂීන් ස්නායු තෙරපීම අවම වී රෝගය සුව වෙනවා. කොළරය පැළඳිය යුතු කාල සීමාව තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයා විසින්.

බොහෝ දෙනෙකුට සති කීපයකින්ම කොළරයෙන් මිදිය හැකියි. එසේ ම ස්නානය කරන විටත්, කෑම ගන්නා විටත්, ඇතැමුන්ට නිදාගන්නා විටත් කොළරය ඉවත් කළ හැකි බව වෛද්‍යවරු තීරණය කරනවා. එහෙත් දහවල් කාලයේ සහ වාහන වල ගමන් බිමන් යන විට අනිවාර්යයෙන්ම ගෙලෙහි කොළරය පැළඳිය යුතු බවයි වෛද්‍ය මතය වන්නේ. කොළරයෙන් ගෙලට ඇතිවන සහනය නිසා ඇතැමුන් නොනවත්වා කොළරය පළඳිනවා. එය නොකළ යුත්තක්.

No comments:

Post a Comment